අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මතුගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි ‘මතුගම ඉද්දගොඩ කට්ටා’ නැමැති 29 හැවිරිදි සැකකරු පසුගිය 08 වැනිදා රාත්‍රියේ පොලිස් භාරයෙන් මිදී සූක්ෂ්ම ලෙස පලාගොස් තිබේ. බීමත්ව රිය පැදවූ වෙනත් පුද්ගලයෙකු සිරමැදිරියට ඇතුළු කිරීම සඳහා රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයා විසින් එහි දොර විවෘත කළ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සැකකරු මෙම පලායාම සිදුකර ඇත.
දොර විවෘත කරනවාත් සමගම අකුණු වේගයෙන් ක්‍රියාත්මක වූ සැකකරු, සිරමැදිරියේ දොර සහ අදාළ පොලිස් නිලධාරියාව ද දැඩි ලෙස තල්ලු කර දමා එළියට පැන තිබේ. පලායන සැකකරු හඹා ගොස් අල්ලා ගැනීමට පොලිස් නිලධාරියා දැඩි උත්සාහයක නිරත වුවද, රාත්‍රී අඳුර ප්‍රයෝජනයට ගනිමින් ඔහු ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇත.
මේ වන විට පලාගිය ‘කට්ටා’ නැමැති මෙම සැකකරු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් සහ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රටේ ආරක්ෂක තත්ත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජන අවධානය යොමුව ඇති මෙවැනි වකවානුවක, පොලිස් භාරයේ සිටින සැකකරුවන් මෙලෙස පලායාම බරපතළ තත්ත්වයක් ලෙස සැලකේ.














