ලෝක ආරක්ෂක පද්ධතිය සහ නේටෝ (NATO) සංවිධානයේ අනාගතය තීරණාත්මක කඩඉමකට පත් කරමින්, ඉරාන යුද මෙහෙයුමට සහාය නොදැක්වූ යුරෝපා රටවලින් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව වාර්තා වේ. මෙම සැළසුමට අනුව, තමන්ට සහාය දීමට මැලි වූ මිත්‍ර රටවල සිටින හමුදා කණ්ඩායම්, යුද මෙහෙයුමේදී අමෙරිකාව සමඟ සෘජුව සිටගත් රටවල් වෙත ස්ථානගත කිරීමට අමෙරිකානු පරිපාලනය තීරණය කර ඇත.
දැනට යුරෝපය පුරා අමෙරිකානු භටයින් 84,000කට ආසන්න පිරිසක් රඳවා සිටින අතර, ඉන් වැඩිම පිරිසක් එනම් 35,000ක් පමණ රැඳී සිටින්නේ ජර්මනිය තුළයි. නෙතන්යාහු ලෙබනන සටන් විරාමය ප්‍රතික්ෂේප කිරීම සහ ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීම වැනි උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ, ට්‍රම්ප්ගේ මෙම තීරණය යුරෝපීය ආරක්ෂාව පිළිබඳ දැඩි අවිශ්වාසයක් ඇති කිරීමට සමත් වී තිබේ.
පුටින් විසින් ට්‍රම්ප්ගේ පාලන බලය ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර ඇති මොහොතක, මෙලෙස හමුදා ඉවත් කිරීමේ තීරණය රුසියාවට සිය බලය තහවුරු කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදීත්, අමෙරිකාව සිය යුරෝපීය මිතුරන් සම්බන්ධයෙන් මෙවැනි දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම ලෝක බල තුලනය සදහටම වෙනස් කිරීමට හේතු වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: CGTN America ඇසුරින්














