මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ නිකැලැල් සේවාවක් ලෙස ගොඩනැගීමට නම් සෑම සේවකයකුටම නිසි ගෞරවය සහ වටිනාකම හිමිවිය යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව පැවසුවේ වසර හතරකට පසුව වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) හරහා නව උපදේශකවරුන් සහ නිලධාරීන් 241 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (09) නාරාහෙන්පිට “නිපුණතා පියස” පරිශ්‍රයේදී එක්වෙමිනි.
ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නඟා සිටුවීමට වැඩි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු සුභසාධන කටයුතු පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රටේ අනාගතය වෙනුවෙන් නිපුණතාවයෙන් සපිරි පරපුරක් බිහි කිරීමේ වගකීම මෙම නව පත්වීම්ලාභීන් සතු බව ද ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.














