බ්‍රිතාන්‍යයට උතුරින් පිහිටි මුහුදු කලාපයේ දත්ත රැහැන් (Data cables) සහ බලශක්ති නළ පද්ධති ඉලක්ක කර ගනිමින් රුසියානු සබ්මැරීන තුනක් රහසිගත මෙහෙයුමක නිරත වී ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි මහතා අනාවරණය කරයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සෘජු නියෝග මත ක්‍රියාත්මක වූ මෙම “අශුද්ධ” ක්‍රියාව මැඩපැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් ‘එච්.එම්.එස්. සෙන්ට් ඇල්බන්ස්’ යුද නෞකාව සහ මෙර්ලින් හෙලිකොප්ටර් යානා යෙදවීමට පියවර ගෙන තිබේ. ලෝකය මැදපෙරදිග යුද්ධය කෙරෙහි අවධානය යොමු කර ඇති මොහොතක, රුසියාව මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් බ්‍රිතාන්‍යයේ තීරණාත්මක යටිතල පහසුකම් පිළිබඳ ඔත්තු බැලීමට උත්සාහ කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.
මෙහිදී රුසියාව විසින් අවධානය වෙනතකට යොමු කිරීමේ උපක්‍රමයක් ලෙස ‘අකුලා’ (Akula) පන්තියේ ප්‍රහාරක සබ්මැරීනයක් මුලින්ම යොදවා ඇති අතර, එම අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යවරයාට සෘජුවම වාර්තා කරන අතිශය රහසිගත ‘GUGI’ ඔත්තු බලන සබ්මැරීන දෙකක් මගින් රැහැන් පද්ධති නිරීක්ෂණය කර ඇත. බ්‍රිතාන්‍යයේ දෛනික අන්තර්ජාල ගමනාගමනයෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම මුහුදු යට රැහැන් පද්ධති හරහා වන අතර, නෝර්වේ සිට පැමිණෙන ගෑස් නළ පද්ධති ද මීට ඇතුළත් වේ. මෙම යටිතල පහසුකම්වලට හානි කිරීමට දරන ඕනෑම උත්සාහයක් නොඉවසන බවත්, ඒ සඳහා බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් හීලි මහතා රුසියාවට අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත් ලන්ඩනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර රුසියාව කිසිදු අවස්ථාවක බ්‍රිතාන්‍යයේ යටිතල පහසුකම්වලට තර්ජනයක් නොවන බව ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ද මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ රුසියාවේ මෙවැනි අස්ථාවර කිරීමේ ක්‍රියාවන් හමුවේ සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන බවයි. මෙම රුසියානු ‘GUGI’ ඒකකය ගැඹුරු මුහුදේ සබොටාජ් (Sabotage) ක්‍රියා සහ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ලොව ප්‍රබලම තාක්ෂණයක් සතු ඒකකයක් ලෙස සැලකෙන අතර බ්‍රිතාන්‍යය සහ නේටෝ (NATO) සංවිධානය රුසියාවේ මෙම දෙමුහුන් යුද (Hybrid warfare) උපක්‍රම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවෙයි.














