ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් නිකුත් කරන ලද 2026 අප්‍රේල් මාසයේ නවතම ආසියානු සංවර්ධන දැක්ම වාර්තාවට අනුව, මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින දේශපාලනික නොසන්සුන්තාව සහ බලශක්ති වෙළඳපොළේ බිඳවැටීම් හේතුවෙන් සමස්ත ආසියා-පැසිෆික් කලාපයම දැඩි ආර්ථික අභියෝගයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම 2026 පෙබරවාරි මාසයේ සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම කලාපයේ නිෂ්පාදන පිරිවැය සහ පාරිභෝගික මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති අතර 2025 වසරේ සියයට 5.4ක වර්ධනයක් පෙන්නුම් කළ ආසියානු කලාපය පවතින අවිනිශ්චිතතාවය හමුවේ 2026 සහ 2027 වසරවලදී සියයට 5.1ක මධ්‍යස්ථ වර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව 2025 වසරේදී සංචාරක සහ කාර්මික අංශවල දියුණුව මත සියයට 5.0ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් අත්කර ගත්තද 2026 වසරේදී එම වර්ධනය සියයට 4.0 දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වන බලශක්ති මිල පීඩනය නිසා මෙරට පාරිභෝගික මිල දර්ශකය හෙවත් උද්ධමනය සියයට 5.2 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව ද එම වාර්තාවේ සඳහන් වේ. භූ-දේශපාලනික බලපෑම්වලට අමතරව රාජ්‍ය ප්‍රාග්ධන වියදම්වල පවතින දුර්වලතා සහ 2025 අගභාගයේ බලපෑ ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බාධාවක් විය හැකි ප්‍රධාන අභියෝග ලෙස හඳුනාගෙන තිබේ.
මැදපෙරදිග අර්බුදය 2026 තෙවන කාර්තුව දක්වා දිගු වුවහොත් කලාපීය වර්ධනය සියයට 4.7 දක්වා පහත වැටීමටත් උද්ධමනය සියයට 5.6 දක්වා ඉහළ යාමටත් ඉඩ පවතින බව පෙන්වා දෙන ආසියානු සංවර්ධන බැංකුව, පොහොර මිල ඉහළ යාම හරහා ආහාර සුරක්ෂිතතාවයට ද තර්ජනයක් එල්ල විය හැකි බව අනතුරු අඟවයි. මෙම තත්ත්වයන් කළමනාකරණය සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් සහ කලාපීය සහයෝගීතාවයක අවශ්‍යතාවය ද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත.














