දශක පහකට වැඩි කාලයකට පසු සඳ වටා ගොස් පැමිණෙන පළමු මිනිස් මෙහෙයුම වන ආර්ටෙමිස් II මෙහෙයුමේ අභ්‍යවකාශගාමීන් සිව්දෙනා අද (10) රාත්‍රියේ පෘථිවියට ළඟා වීමට නියමිතව තිබේ. නාසා ආයතනයේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන අභ්‍යවකාශගාමීන් රැගත් ඔරායන් (Orion) යානය සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ ශාන්තිකර සාගරයට පතිත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.
පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී යානය පැයට සැතපුම් 23,864ක උපරිම වේගයකින් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද රාත්‍රී 7:33ට පමණ යානයේ සේවා මොඩියුලය වෙන් වීමෙන් අනතුරුව රාත්‍රී 7:53ට පමණ යානය වටා දැඩි තාපයක් සහිත ප්ලාස්මා තත්ත්වයක් ඇති වීම නිසා මිනිත්තු 6ක සන්නිවේදන ඇනහිටීමක් සිදුවනු ඇත. ඉන් අනතුරුව යානයේ වේගය පාලනය කිරීම සඳහා මුලින්ම කුඩා පැරෂූට් ද පසුව ප්‍රධාන පැරෂූට් තුන ද දිග හැරීමට නියමිත අතර රාත්‍රී 8:07ට පමණ යානය සාගරයට පතිත වනු ඇතැයි නාසා ආයතනය පුරෝකථනය කරයි.
යානය සාගරයට පතිත වූ පසු පැය දෙකක් ඇතුළත අභ්‍යවකාශගාමීන්ව හෙලිකොප්ටර් මගින් ‘USS John P. Murtha’ නෞකාව වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ. එහිදී මූලික වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ව හූස්ටන්හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ඇත. මෙම මෙහෙයුමේ සාර්ථකත්වය මිනිසා නැවත සඳ මත පය තැබීමේ ‘ආර්ටෙමිස් III’ මෙහෙයුම සඳහා තීරණාත්මක පියවරක් වනු ඇත.














