ලොව සුප්‍රිරි ෆෝමියුලා වන් (F1) ක්‍රීඩක මැක්ස් වර්ස්ටැපන්ගේ දිගුකාලීන රේස් ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන ජියැන්පියෙරෝ ලැම්බියාස්, තමන්ගේ වත්මන් ගිවිසුම අවසන් වන 2028 වසරේදී රෙඩ්බුල් (Red Bull) කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ‘GP’ යන සුරතල් නාමයෙන් ප්‍රකට ඔහු, ඉන් අනතුරුව මැක්ලරන් (McLaren) කණ්ඩායමේ ප්‍රධාන රේසිං නිලධාරියා (Chief Racing Officer) ලෙස එක්වීමට නියමිත බව වාර්තා වේ.
2016 වසරේදී වර්ස්ටැපන් රෙඩ්බුල් කණ්ඩායමට එක් වූ දින සිට ලැම්බියාස් ඔහු සමඟ ඉතා සමීපව කටයුතු කළ අතර, වර්ස්ටැපන් ලබාගත් ලෝක ශූරතා හතර සඳහාම ඔහුගේ මගපෙන්වීම් සහ උපදෙස් ප්‍රධාන සාධකයක් විය. මෑත කාලයේදී රෙඩ්බුල් කණ්ඩායමේ ‘Head of Racing’ ධුරය ද හෙබවූ ඔහු, මැක්ලරන් කණ්ඩායමට එක්වීමෙන් පසු එහි ප්‍රධාන විධායක ඇන්ඩ්‍රියා ස්ටෙලාගේ (Andrea Stella) කාර්යභාරයන් කිහිපයක් සඳහා සහාය වීමට නියමිතය.
පසුගිය වසර දෙකක කාලය තුළ රෙඩ්බුල් කණ්ඩායම අතහැර මැක්ලරන් කණ්ඩායමට එක් වූ තෙවන ප්‍රධාන නිලධාරියා ලැම්බියාස් වේ. මීට පෙර රොබ් මාෂල් (Rob Marshall) සහ විල් කෝට්නි (Will Courtenay) ද රෙඩ්බුල් අතහැර මැක්ලරන් සමඟ එක් විය. මෙම ප්‍රබල නිලධාරීන් කණ්ඩායමෙන් ඉවත් වීම ඉදිරි වසර කිහිපයේදී රෙඩ්බුල් කණ්ඩායමේ ආධිපත්‍යයට යම් බලපෑමක් එල්ල කළ හැකි බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.














