ඉන්දීය මහ බැංකුව (RBI) විසින් පනවා තිබූ නියාමන සීමාවන් හේතුවෙන් රුපියලට ලැබුණු තාවකාලික සහය අද (10) දිනයෙන් පසු අවසන් වීමට නියමිතව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මීට අමතරව, මැදපෙරදිග සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තාවකාලිකව පහත වැටුණු ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ යමින් පැවතීම ඉන්දීය රුපියලට තවදුරටත් පීඩනයක් එල්ල කර තිබේ.
අද දින ඉන්දීය රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 92.65 ක් ලෙස ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කළද, ඉන්දීය මහ බැංකුවේ මැදිහත්වීම ඉවත් වීමත් සමඟ එහි අගය තවදුරටත් පහත වැටීමේ අවදානමක් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරාන සටන් විරාමයේ ස්ථාවරභාවය පිළිබඳව පවතින අවිශ්වාසය හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල නැවතත් ඩොලර් 96.70 දක්වා ඉහළ ගොස් ඇත.
විදේශීය ආයෝජකයින් ඉන්දියානු කොටස් වෙළඳපොළෙන් සිය මුදල් ඉවත් කරගැනීමේ ප්‍රවණතාවක් ද මේ වන විට දක්නට ලැබේ. සටන් විරාමයෙන් පසු ගතවූ දින දෙකක කාලය තුළ විදේශ ආයෝජකයින් ශුද්ධ විකුණුම්කරුවන් ලෙස කටයුතු කර ඇති අතර, මෙය රුපියලේ අගය පහළ වැටීමට තවත් ප්‍රබල හේතුවක් වී තිබේ.














