වෙනිසියුලාවේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා ජනාධිපති මන්දිරය දෙසට ගමන් කළ 2,000 කට අධික විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීම සඳහා එරට පොලිසිය ඊයේ (09) කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. වෙනිසියුලාවේ වත්මන් අවම මාසික වැටුප බොලිවර් 130 ක් (යුරෝ 0.23 ක් පමණ) වන අතර, එය එක්සත් ජාතීන්ගේ දරිද්‍රතා රේඛාවට වඩා 330 ගුණයකට වඩා අඩු අගයකි.
පසුගිය ජනවාරි මාසයේදී නිකලස් මදුරෝ බලයෙන් පහ කිරීමෙන් පසු වැඩබලන ජනාධිපති ලෙස පත් වූ ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) යටතේ පවතින රජය, පවතින ජීවන වියදම් අර්බුදයට විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා කරති. කැරකස් නුවර මධ්‍යයේදී කැරලි මර්දන පොලිසිය සමඟ ඇති වූ මෙම ගැටුම් මඟින් පෙනී යන්නේ මදුරෝ පාලන සමයේ පැවති බිය ක්‍රමයෙන් තුරන් වී ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට පටන් ගෙන ඇති බවයි.














