ඊලොන් මස්ක්ගේ SpaceX සමාගම 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 5 කට ආසන්න අතිදැවැන්ත පාඩුවක් ලබා ඇති බව ‘The Information’ පුවත් සේවය වාර්තා කරයි. එම වසරේ සමාගමේ ආදායම ඩොලර් බිලියන 18.5 ක් ලෙස සටහන් වුවද, පෙබරවාරි මාසයේදී මස්ක්ගේ xAI කෘතිම බුද්ධි සමාගම අත්පත් කර ගැනීම මෙම මූල්‍ය පසුබෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන් වේ.
අභ්‍යවකාශ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සහ ග්‍රහලෝක අතර සංචාරක පහසුකම් සැලසීම වැනි දැවැන්ත ව්‍යාපෘති සඳහා සමාගම විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටී. මෙම පාඩුව වාර්තා වන්නේ, SpaceX සමාගම කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීම සඳහා (IPO) සූදානම් වෙමින් පවතින පසුබිමක වීම විශේෂත්වයකි.
සමාගම ඩොලර් ට්‍රිලියන 1.75 කට අධික වටිනාකමකින් කොටස් වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන අතර, පසුගිය වසරේ (2024) සමාගම ඩොලර් බිලියන 8 ක ලාභයක් ලබා තිබූ බව ද මීට පෙර වාර්තා විය. කෙසේ වෙතත්, මෙම නවතම වාර්තාව පිළිබඳව SpaceX සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.














