ඉක්වදෝර රජය සිය අසල්වැසි කොලොම්බියාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා මෙතෙක් පැවති 50% ක බදු ප්‍රතිශතය 100% දක්වා ඉහළ නැංවීමට ඊයේ (09) පියවර ගත්තේය. දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමට කොලොම්බියාව අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් ඉක්වදෝරය මෙම තීරණය ගෙන ඇති අතර, නව බදු සංශෝධනය එළඹෙන මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.
විශේෂයෙන්ම දෙරටේ දේශසීමා ආසන්නයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට කොලොම්බියාව ප්‍රමාණවත් උත්සාහයක් නොගන්නා බව ඉක්වදෝරයේ ස්ථාවරයයි. ඉක්වදෝරයේ මෙම ක්‍රියාවට කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ (Gustavo Petro) සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, මෙය “දරුණු ක්‍රියාවක්” ලෙස හඳුන්වමින් ඔහු කියා සිටියේ මෙවැනි තීරණ හරහා කලාපීය වෙළඳ ගිවිසුම්වල වටිනාකම ගිලිහී යන බවයි. මෙම තත්ත්වය හමුවේ මධ්‍යම ඇමෙරිකාව සහ කැරිබියන් කලාපය සමඟ වැඩි වෙළඳ සබඳතා ඇති කර ගැනීමට කොලොම්බියාව අවධානය යොමු කරමින් සිටී.














