අමෙරිකාව ඇතුළු බටහිර බලවේග එල්ල කරන විවිධ බාධක සහ හුදෙකලා කිරීමේ උත්සාහයන් මධ්‍යයේ වුවද, උතුරු කොරියාව ලබා ඇති ජයග්‍රහණ අතිවිශිෂ්ට බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) ප්‍රකාශ කර තිබේ. නිල සංචාරයක් සඳහා පියොංයෑං නුවරට පැමිණි ඒ මහතා, උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සන් හුයි (Choe Son Hui) සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ බව උතුරු කොරියානු KCNA පුවත් සේවය අද (10) වාර්තා කළේය.
කිම් ජොන් උන් මහතාගේ නායකත්වය යටතේ උතුරු කොරියාව සමාජවාදී ගොඩනැගීම් තුළ නව ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති බවත්, ගෝලීය දේශපාලන පරිසරය කෙතරම් වෙනස් වුවද චීනය සහ උතුරු කොරියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සිය රජයන්හි නොසැලෙන ස්ථාවරය බවත් දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළහ. කොවිඩ් වසංගතයෙන් පසු මඳක් පසුබෑමකට ලක්ව තිබූ දෙරටේ දේශපාලන හා ආර්ථික සබඳතා යළිත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට මෙම හමුව තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














