ඊයේ දිනයේ මෙරට ද්විතීයික සුරැකුම්පත් වෙළඳපොළේ ගනුදෙනු සීමිත මට්ටමක පැවති අතර වෙළඳපොළ තුළ විකුණුම් පීඩනයක් දක්නට ලැබුණු බව වෙළඳපොළ වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම කෙටි කාලීන සහ මධ්‍ය කාලීන කල් පිරෙන බැඳුම්කර කිහිපයක් සඳහා පමණක් ගනුදෙනු සීමා වූ අතර එහිදී 2027 මැයි මාසයේ කල් පිරෙන බැඳුම්කර සඳහා සියයට 8.70ක පොලී අනුපාතයක් වාර්තා විය. තවද 2030 මාර්තු බැඳුම්කර සඳහා සියයට 10.00ක සහ 2032 දෙසැම්බර් බැඳුම්කර සඳහා සියයට 10.85ක පොලී අනුපාත වාර්තා වී තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 100ක් අපේක්ෂා කළද එහිදී රැස් කර ගැනීමට හැකි වූයේ රුපියල් බිලියන 82.1ක් පමණි. එහිදී 2030, 2034 සහ 2037 වසරවල කල් පිරෙන බැඳුම්කර සඳහා පිළිවෙළින් සියයට 10.12ක්, සියයට 11.16ක් සහ සියයට 11.19ක් ලෙස මධ්‍යන්‍ය පොලී අනුපාත වාර්තා විය. මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු අගයකින් ශක්තිමත් වූ අතර ඩොලරයක විකුණුම් මිල රුපියල් 315.22ක් ලෙස සටහන් විය. බැංකු පද්ධතියේ පවතින අතිරික්ත ද්‍රවශීලතාව ද රුපියල් බිලියන 239.96ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවල සඳහන් වේ.














