ඇමෙරිකානු මධ්‍යම බැංකුව (Federal Reserve) සිය මාර්තු මස ප්‍රතිපත්තිමය රැස්වීමේදී පොලී අනුපාත 3.5% සිට 3.75% දක්වා නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති අතර, මෙම වසර අගදී පොලී අනුපාත අඩු කිරීමේ හැකියාව පිළිබඳව ද ඉඟි පළ කර තිබේ. ඊයේ (09) නිකුත් කරන ලද එම රැස්වීමේ වාර්තාවලට අනුව, උද්ධමනය බලාපොරොත්තු වූ පරිදි අඩු වුවහොත් පොලී අනුපාත අඩු කිරීම සුදුසු බව බොහෝ නිලධාරීන්ගේ මතය වී ඇත. කෙසේ වෙතත්, උද්ධමනය දිගින් දිගටම ඉහළ මට්ටමක පැවතුණහොත් පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පවතින බවට තවත් පිරිසක් අදහස් දක්වා ඇති බැවින් බැංකුව තුළ මේ සම්බන්ධයෙන් මතභේද පවතී.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ඇමෙරිකානු ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව ද මෙහිදී දැඩි අවධානයක් යොමු විය. අතිරේක ගැටුම් ඇතිවීමේ හැකියාව ආර්ථිකයට කවරාකාරයේ බලපෑමක් එල්ල කරන්නේ ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකි බවත්, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට තවමත් කල් වැඩි බවත් මධ්‍යම බැංකු නිලධාරීන්ගේ පොදු මතය වී තිබේ. මීට අමතරව, රැකියා වෙළඳපොලේ පවතින මන්දගාමී වර්ධනය සහ නව රැකියා උත්පාදනය අවම වීම ද අනාගත පොලී අනුපාත තීරණ කෙරෙහි බලපාන තීරණාත්මක සාධක ලෙස හඳුනාගෙන ඇත.
වෙළඳපොළ විශ්ලේෂණයන්ට අනුව, මෙම වසර අවසානය දක්වාම පොලී අනුපාත දැනට පවතින මට්ටමේම පවතිනු ඇති බවට 75.6% ක සම්භාවිතාවක් පවතී. ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) වෙළඳපොළ ද මෙම තීරණ දෙස විමසිල්ලෙන් බලා සිටින්නේ පොලී අනුපාත අඩු කිරීමක් සිදු වුවහොත් වෙළඳපොළ ද්‍රවශීලතාව ඉහළ ගොස් ආයෝජන දිරිමත් වනු ඇති බැවිනි. මීළඟ ප්‍රතිපත්තිමය රැස්වීම අප්‍රේල් 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, එහිදී මැදපෙරදිග යුද්ධයේ ව්‍යාප්තිය සහ උද්ධමනයේ වේගය පිළිබඳව යළිත් සමාලෝචනය කිරීමට නියමිතය.














