විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසල දැවැන්ත විරෝධතාවක් පවත්වන ලදී. මෙම විරෝධතාව සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයකි.
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇති වී තිබෙන බලශක්ති අර්බුදය නිසි ලෙස කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වී ඇති බවට විරෝධතාකරුවෝ මෙහිදී චෝදනා කළහ. විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි කප්පාදු පිළිබඳ අවදානම හමුවේ විෂය භාර අමාත්‍යවරයා වගකීම භාරගත යුතු බව ඔවුන් අවධාරණය කළහ.
මෙම විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම ආශ්‍රිතව දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ පවතින බලශක්ති අර්බුදය හමුවේ ජනතාව පත්ව ඇති පීඩනය රජය නොසලකා හැර ඇති බවයි.














