Bitmine Immersion Technologies සමාගම සිය කොටස් ලැයිස්තුගත කිරීම නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ (NYSE) ප්‍රධාන පුවරුව (Main Board) දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබේ. මෙතෙක් NYSE American පුවරුවේ ගනුදෙනු වූ මෙම සමාගම, අප්‍රේල් 9 වැනිදා සිට NYSE ප්‍රධාන පුවරුවේ ගනුදෙනු ආරම්භ කළේය. මෙම සුවිශේෂී සන්ධිස්ථානයත් සමඟ සිය කොටස් හිමියන් වෙත ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින්, 2025 වසර සඳහා වූ කොටස් නැවත මිලදී ගැනීමේ (Share Buyback) සීමාව ඩොලර් බිලියන 1 සිට බිලියන 4 දක්වා ඉහළ නැංවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.
මෙම කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහනේ පරිමාණය ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් වන ඇල්ෆබට් (Alphabet), මෙටා (Meta) සහ ඇපල් (Apple) වැනි සමාගම් සමඟ සම තත්ත්වයේ පවතින බව Bitmine සභාපති ටොම් ලී (Tom Lee) මහතා ප්‍රකාශ කළේය. මෙලෙස ලැයිස්තුගත කිරීමේ පුවරුව උසස් කිරීම සමාගමේ විශ්වාසනීයත්වය සහ පිළිගැනීම ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් තහවුරු කරන්නක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මීට අමතරව, Bitmine සමාගම සිය එතීරියම් (Ethereum) සංචිතය ද සීඝ්‍රයෙන් වැඩිකරමින් සිටී. පසුගිය අප්‍රේල් 5 වැනිදායින් අවසන් වූ සතිය තුළ තවත් එතීරියම් 71,252ක් මිලදී ගත් අතර, ඒ අනුව සමාගම සතු මුළු එතීරියම් ප්‍රමාණය ලක්ෂ 48කට වඩා වැඩිය. මෙහි වත්මන් වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි. ලොව ඕනෑම ආයතනයකට වඩා වැඩි එතීරියම් ප්‍රමාණයක් තමන් සතු බවත්, එයින් විශාල ප්‍රමාණයක් ආයෝජනය කර (Staking) ඇති බවත් සමාගම පවසයි. මෙම නව මූල්‍ය උපාය මාර්ග හරහා Bitmine සමාගම කොටස් වෙළෙඳපොළ සහ ක්‍රිප්ටෝ වෙළෙඳපොළ යන අංශ දෙකෙහිම සිය බලය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.














