බිලියනපති නිවුන් සහෝදරයන් වන ටයිලර් සහ කැමරන් වින්ක්ලෙවොස් (Winklevoss twins) විසින් ආරම්භ කරන ලද Gemini ක්‍රිප්ටෝ ගනුදෙනු මධ්‍යස්ථානයේ (Cryptocurrency exchange) කොටස් මිලදී ගැනීම සඳහා විවිධ පාර්ශවයන් උනන්දුවක් දක්වන බව වාර්තා වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ගැනුම්කරුවන් මුළු සමාගමම මිලදී ගැනීමට වඩා, Gemini සමාගම මෑතකදී වසා දැමූ එහි යුරෝපා සහ බ්‍රිතාන්‍ය ඒකක මිලදී ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීමයි. මෙලෙස එම ඒකක මිලදී ගැනීමට ඔවුන් පෙළඹී ඇත්තේ එම කලාපවල ක්‍රිප්ටෝ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නියාමන බලපත්‍ර (Regulatory licences) ඉතා පහසුවෙන් ලබා ගැනීමේ අරමුණින් බව පැවසේ.
Gemini සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී සිය ගෝලීය සේවක මණ්ඩලයෙන් 25% ක් පමණ ඉවත් කළ අතර බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාවේ සිය මෙහෙයුම් කටයුතු ද නතර කළේය. වර්තමානයේ යුරෝපයේ MiCA (Markets in Crypto-Assets) නියාමන රාමුව යටතේ අලුතින් බලපත්‍රයක් ලබා ගැනීමට වසර ගණනාවක් ගත විය හැකි බැවින්, පවතින සමාගම් ඒකකයක් මිලදී ගැනීම ගැනුම්කරුවන්ට වඩාත් ප්‍රායෝගික විකල්පයක් වී තිබේ. කෙසේ වෙතත්, එවැනි ගනුදෙනුවක් සිදු වුවද, අදාළ නියාමන ආයතන විසින් ගැනුම්කරුවන්ගේ සුදුසුකම් යළිත් පරීක්ෂා කරනු ලබන අතර බලපත්‍ර ස්වයංක්‍රීයව හිමි නොවන බව ද සඳහන් වේ.
මෙම පුවතත් සමඟ කොටස් වෙළෙඳපොළ තුළ Gemini සමාගමේ කොටස් මිල 11% කින් පමණ ඉහළ ගියද, එහි වත්මන් කොටස් මිල ආරම්භක මිලට වඩා 80% කින් පමණ පහළ මට්ටමක පවතී. ඉදිරි කාලයේදී මෙම විකිණීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද සහ නියාමන ආයතන ඒ සඳහා කෙලෙස ප්‍රතිචාර දක්වන්නේ ද යන්න පිළිබඳව ක්‍රිප්ටෝ වෙළෙඳපොළ දැඩි අවධානයෙන් පසුවේ.













