මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) අද (10) සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් (Lawrence Wong) හමුවීමට නියමිතය. සිංගප්පූරුව යනු ඕස්ට්‍රේලියාවට පෙට්‍රල් සපයන විශාලතම රට වන අතර ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන සපයන ප්‍රධානතම මධ්‍යස්ථානයක් ද වේ.
දැනට පවතින අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබෙන අතර, ජනතාව කලබලයෙන් ඉන්ධන රැස් කිරීම (Panic buying) නිසා ඇතැම් ස්ථානවල ඉන්ධන තොග සහමුලින්ම අවසන් වී ඇත. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික සහ පතල් කැණීම් ක්ෂේත්‍ර සඳහා අත්‍යවශ්‍ය වන ඩීසල් සැපයුම අඩාල වීම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ද්‍රව ස්වාභාවික වායු (SLNG) පර්යන්තයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව ඉතා ශක්තිමත් බවත්, සිංගප්පූරුවට අවශ්‍ය ද්‍රව ස්වාභාවික වායු (LNG) ප්‍රමාණයෙන් තුනෙන් එකක් ඕස්ට්‍රේලියාවෙන් සපයන අතර ඕස්ට්‍රේලියාවට අවශ්‍ය පිරිපහදු කළ ඉන්ධනවලින් 26% ක් සිංගප්පූරුවෙන් ලැබෙන බවත් අග්‍රාමාත්‍ය ඇල්බනීස් සඳහන් කළේය. ලෝකය අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින මෙවැනි මොහොතක, විශ්වාසවන්ත මිතුරන් ලෙස එකිනෙකා මත යැපීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම උපායමාර්ගිකව ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














