AI වීඩියෝ නිර්මාණ මෙවලමක් වන ‘Vidu’ හි නිෂ්පාදකයා වන චීනයේ ShengShu සමාගම, අලිබාබා ක්ලවුඩ් (Alibaba Cloud) ප්‍රමුඛ කරගත් ආයෝජන වටයකින් අමෙරිකානු ඩොලර් මිලියන 290ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා ගැනීමට සමත්ව තිබේ. බයිදු වෙන්චර්ස් (Baidu Ventures) සහ TAL Education වැනි ආයතන ද මෙයට දායක වී ඇත. පෙළ (Text) මත පමණක් පදනම් වූ AI මාදිලිවල සීමාවන් හඳුනාගනිමින්, සැබෑ ලෝකයේ භෞතික ක්‍රියාකාරිත්වය තේරුම් ගත හැකි ‘ලෝක මාදිලි’ (World Models) සංවර්ධනය කිරීම මෙම ආයෝජනයේ ප්‍රධාන අරමුණයි.
මෙම අරමුදල් භාවිත කරමින් ShengShu සමාගම ඩිජිටල් අවකාශය (Digital world) සහ භෞතික ලෝකය (Physical world) යා කරන පොදු ලෝක මාදිලියක් (General-purpose world model) නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. මෙය ස්වයංක්‍රීයව ධාවනය වන රථවාහන (Autonomous driving) සහ රොබෝ තාක්ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා අතිශය තීරණාත්මක වනු ඇත. දෘශ්‍ය, ශ්‍රව්‍ය සහ ස්පර්ශය වැනි බහුවිධ දත්ත (Multimodal data) හරහා ලෝකය ක්‍රියා කරන ආකාරය ස්වාභාවිකව තේරුම් ගැනීමට මෙම AI පද්ධතිවලට හැකියාව ලැබෙන බව සමාගම පවසයි.
ShengShu සමාගම සතු නවතම Vidu Q3 Pro මාදිලිය දැනට ලොව පවතින දියුණුම AI වීඩියෝ නිර්මාණ මාදිලි 10 අතරට එක්ව තිබේ. විශේෂයෙන්ම ඇමරිකාවේ OpenAI සමාගම සිය ‘Sora’ මාදිලිය එළිදැක්වීමට මාස කිහිපයකට පෙරම ShengShu සමාගම සිය Vidu තාක්ෂණය ගෝලීයව හඳුන්වා දීම විශේෂත්වයකි. මිනිස් මට්ටමේ බුද්ධියක් සහිත AI පද්ධතියක් තැනීමට නම් භෞතික ලෝකය පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය වන අතර, ‘ලෝක මාදිලි’ යනු එම මාවතේ ඇති විශාලතම පිම්ම බව තාක්ෂණික විචාරකයෝ පෙන්වා දෙති.














