‘දිවයින ඉරිදා සංග්‍රහය’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු මෙන්ම මෙරට ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් මහතා අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර සිටියදී මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ඒ මහතා, ජාතික මට්ටමේ දේශපාලන සහ සමාජීය කරුණු සම්බන්ධයෙන් සිය පන්හිඳ මෙහෙයවූ ප්රමුඛ පෙළේ මාධ්‍ය පෞරුෂයකි. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 66 වන වියේ පසුවූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පසුව දැනුම් දීමට නියමිතය.














