ඉන්දියානු රජය විසින් එරට සමාජ මාධ්‍ය ජාලාවල පළවන ප්‍රවෘත්ති සහ දේශපාලන අන්තර්ගතයන් නියාමනය කිරීම සඳහා නව සංශෝධන මාලාවක් යෝජනා කර තිබේ. ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MeitY) මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනා මගින් Facebook, YouTube සහ X වැනි වේදිකාවල ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ට පමණක් නොව, ස්වාධීන මාධ්‍යවේදීන්, පෝඩ්කාස්ට් (Podcasters) කරුවන් සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් (Influencers) වෙත ද රජයේ සදාචාර පද්ධතිය බලපැවැත්වීමට කටයුතු කර ඇත. මෙමගින් ලියාපදිංචි නොවූ සාමාන්‍ය පරිශීලකයන් පවා පුවත් සහ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් පළ කරන සටහන් පාලනය කිරීමට රජයට වැඩි බලයක් හිමිවන බව විචාරකයෝ පෙන්වා දෙති.
මෙම නව සංශෝධනවලට අනුව සමාජ මාධ්‍ය ආයතනවලට පවතින නීතිමය ආරක්ෂාව (Safe Harbour) පවත්වා ගැනීමට නම් රජයේ නියෝග සහ මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීමට සිදුවනු ඇත. ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ සහ ‘ඩීප් ෆේක්’ (Deepfakes) පාලනය කිරීම මෙහි අරමුණ බව රජය ප්‍රකාශ කළ ද, ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙය රජය විවේචනය කරන්නන් මර්දනය කිරීමට යොදාගත හැකි මෙවලමක් බවයි. විශේෂයෙන්ම මෑතකදී හඳුන්වා දුන් නීති හරහා රජයේ අවහිර කිරීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට සමාජ මාධ්‍ය සමාගම්වලට ලබා දී තිබූ පැය 36ක කාලය පැය 3ක් දක්වා අඩු කර ඇති අතර, එමගින් අධිකරණමය සමාලෝචනයක් සඳහා ඇති අවස්ථාව ද අවම කර තිබේ.
ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ ස්වාධීන නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ මෙම දැඩි නීති පද්ධතිය හේතුවෙන් නිර්මාණකරුවන් ස්වයං-වාරණයකට (Self-censorship) යොමු විය හැකි බවත්, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා විය හැකි බවත්ය. වසර කිහිපයක සිට ක්‍රමයෙන් දැඩි කරන ලද තොරතුරු තාක්ෂණ නීති හරහා ඉන්දියානු රජය අන්තර්ජාල අන්තර්ගතයන් මත සිය පාලනය ව්‍යාප්ත කරමින් සිටින බවට ද චෝදනා එල්ල වේ. මෙම යෝජිත සංශෝධන සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අප්‍රේල් 14 වනදා දක්වා සිදු කිරීමට නියමිතව ඇත.














