දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (09) දිනයේදී පමණක් පුද්ගලයින් 28,837 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය නිවේදනය කරයි. මෙම විශේෂ සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 763 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 27 දෙනෙකු අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තු පවතින පුද්ගලයින් 240ක් සහ විවෘත වරෙන්තුකරුවන් 165ක් ද සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මීට අමතරව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ පරීක්ෂාවලදී බීමත් රියදුරන් 132ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 78ක් ද පොලිස් භාරයට ගෙන ඇත. රථවාහන වැරදි සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 4,579 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.














