තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන කුවෝමින්ටැං (KMT) පක්ෂයේ නායිකා චෙං ලී-වූන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් අද (10) බෙයිජිං නුවරදී පවත්වා තිබේ. දශකයකට පමණ පසු තායිවාන විපක්ෂ නායකවරයෙකු චීනයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන අතර, දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කර ඇත්තේ තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයි. චීනයේ මහජන මහා ශාලාවේදී (Great Hall of the People) පැවති මෙම හමුවේදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දෙපාර්ශවයම පොදු මාතෘභූමියක උරුමකරුවන් ලෙස අනාගත පරපුර වෙනුවෙන් සාමකාමී සබඳතා වර්ධනය කරගත යුතු බවයි.
තායිවාන නිදහසට එරෙහි වීම යන පොදු දේශපාලන පදනම මත පිහිටා කුවෝමින්ටැං පක්ෂය ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ සංවාද පැවැත්වීමට චීනය සූදානම් බව ෂී ජින්පින් මෙහිදී යළිත් තහවුරු කළේය. තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම වෙසෙන්නේ චීන ජාතිකයන් බවත්, ඔවුන් සැමගේම අපේක්ෂාව සාමය බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් චෙං ලී-වූන් සඳහන් කළේ චීන ජනතාවගේ පුනර්ජීවනය යනු සමුද්‍ර සන්ධියේ දෙපසම වෙසෙන ජනතාවගේ පොදු අභිලාෂයක් බවයි.
කෙසේ වෙතත්, තායිවානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) මෙම සංචාරය දැඩි ලෙස විවේචනය කර ඇති අතර, විපක්ෂ නායිකාව බෙයිජිං පාලනයට ගැතිව කටයුතු කරන බවට චෝදනා කර තිබේ. චීනය තායිවානය තමන්ගේම කොටසක් ලෙස සලකන අතර අවශ්‍ය වුවහොත් බලහත්කාරයෙන් එය අත්පත් කර ගන්නා බවට මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණි. එවැනි උණුසුම් දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ පැවති මෙම හමුව කලාපීය සාමය පිළිබඳ නව කතිකාවතක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.














