ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන උණුසුම් විවාදයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විපක්ෂය එල්ල කරන දූෂණ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. මෙම විවාදය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමක (Account) පළවන සටහන්වලින් ඔබ්බට ගිය තර්කානුකූල පදනමක් සහිත එකක් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව අමාත්‍යවරයා මෙහිදී උපහාසාත්මකව පවසා සිටියේය. විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, ඒවා හුදෙක් දේශපාලන වාසි තකා සිදුකරන්නක් බවත් ඔහු අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව වංචා හෝ දූෂණ චෝදනා එල්ල කිරීමට උත්සාහ කරන පිරිස්වලට අමාත්‍යවරයා සුවිශේෂී අභියෝගයක් ද ඉදිරිපත් කළේය. “මේ ඇමතිවරුන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන්න හඳට ගොඩ බැහැලා එන්න” යනුවෙන් පවසමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් පාලනය යටතේ කිසිදු දූෂණ ක්‍රියාවකට ඉඩක් නොමැති බවයි. පවතින විවාදය හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට විපක්ෂය දරන උත්සාහය සාර්ථක නොවන බවත්, ජනතාව නොමග යවන මෙවැනි ප්‍රකාශවලින් පලක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














