යුක්රේනය සහ මැදපෙරදිග රටවල් කිහිපයක් අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ ඩ්‍රෝන ආරක්ෂණ තාක්ෂණය හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) ප්‍රකාශ කර තිබේ. ඉරානය විසින් නිෂ්පාදනය කරන ‘Shahed’ වර්ගයේ ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩපැවැත්වීම සඳහා යුක්රේනය සතු විශේෂඥ දැනුම සහ විද්‍යුත් යුධ ක්‍රමවේද (Electronic Warfare) මෙම රටවල් සමඟ බෙදා ගැනීමට නියමිතය.
සෙලෙන්ස්කි මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් විශේෂඥයන් 200කට අධික පිරිසක් මැදපෙරදිග වෙත යවා ඇති අතර, එහිදී ඉරාන ඩ්‍රෝන යානා සාර්ථකව බිම හෙළීමට ඔවුන් සහය වී ඇති බවයි. සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ දැනටමත් වසර 10ක ආරක්ෂක ගිවිසුම්වලට එළඹ ඇති පසුබිමක, ඕමාන්, කුවේට් සහ බහරේන් සමඟ ද එවැනිම දීර්ඝකාලීන ගිවිසුම් සඳහා සාකච්ඡා ඉදිරියට යමින් පවතී.
ආරක්ෂක සහයෝගීතාවයට අමතරව, යුක්රේනයට අවශ්‍ය තෙල් සහ ඩීසල් සැපයුම් ලබා ගැනීම පිළිබඳව ද මෙම පුළුල් සහයෝගීතා වැඩපිළිවෙළ යටතේ අවධානය යොමු වී ඇත. ඉරාන ඩ්‍රෝන තර්ජන හමුවේ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට යුක්රේනයේ තාක්ෂණික අත්දැකීම් ඉතා වැදගත් වනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














