ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (අප්‍රේල් 10) වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් හි කෙටි නමුත් කාර්යබහුල සංචාරයක නිරත වීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබේ. මෙම සංචාරය ප්‍රධාන වශයෙන් පෞද්ගලික දේශපාලන කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙන් කර ඇත
ධවල මන්දිරයේ නිල කාලසටහනට අනුව ජනාධිපතිවරයා අද දිනයේ චාලට්ස්විල් බලා පිටත්ව යන අතර එදිනම සවස් කාලයේ නැවත වොෂින්ටන් ඩී.සී. බලා පැමිණීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් චාලට්ස්විල් ගුවන් සීමාවේ තාවකාලික සීමාවන් පැනවීමට ද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පියවර ගෙන තිබේ.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ‘MAGA Inc.’ සංවිධානය සමඟ පැවැත්වෙන විශේෂ වැඩසටහන් දෙකකට සහභාගී වීමයි. ඒ අනුව සවස 6:30 ට විශේෂ සාකච්ඡාවකටත්, සවස 7:15 ට පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකටත් ජනාධිපතිවරයා එක් වනු ඇත. මෙම අවස්ථා දෙකම මාධ්‍ය සඳහා විවෘත නොවන “සංවෘත” (Closed Press) උත්සව ලෙස නම් කර තිබේ.
වාර්තා වන අන්දමට මෙම දේශපාලන හමුවීම් ජනාධිපතිවරයාට අයත් ‘Trump Winery’ පෞද්ගලික පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ආරාධිත අමුත්තන් පිරිසකට පමණක් සීමා වූ මෙම හමුවේදී සාකච්ඡා වන කරුණු පිළිබඳව ධවල මන්දිරය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.
මැදපෙරදිග පවතින යුද වාතාවරණය සහ අභ්‍යන්තර දේශපාලන වෙනස්කම් හමුවේ ජනාධිපතිවරයා සිදු කරන මෙම සංචාරය ඔහුගේ ඉදිරි දේශපාලන උපාය මාර්ග ශක්තිමත් කර ගැනීමක් වනු ඇති බව විචාරකයෝ පවසති.














