තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන කියෝමින්ටැන්ග් (KMT) පක්ෂයේ සභාපතිනී චෙන්ග් ලී-වුබ් (Cheng Li-wun) සහ චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) අතර ඓතිහාසික හමුවක් ඊයේ (අප්‍රේල් 10) බෙයිජිං නුවරදී පැවැත්විණි. මෙය දශකයකට පමණ පසු චීන නායකයෙකු සහ තායිවාන විපක්ෂ නායකයෙකු අතර සිදුවූ පළමු සෘජු සම්බන්ධතාවය ලෙස සැලකෙන අතර මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ෂී ප්‍රකාශ කළේ තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම වසන ජනතාව චීන ජාතිකයන් බවත් ඔවුන් සැමවිටම සාමය අපේක්ෂා කරන බවත්ය. කෙසේ වෙතත් මෙම සංචාරය තායිවානය තුළ දැඩි මතභේදයට තුඩු දී ඇති අතර චෙන්ග් ලී-වුබ් චීනයට ඕනෑවට වඩා ලැදිව කටයුතු කරන බවට එරට පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) චෝදනා කරයි. මීට ප්‍රතිචාර දක්වමින් චෙන්ග් ලී-වුබ් පවසා සිටියේ තායිවානය තවදුරටත් ගැටුම්කාරී කේන්ද්‍රස්ථානයක් නොවිය යුතු බවත් එය දෙපාර්ශවයේම සාමයේ සංකේතයක් විය යුතු බවත්ය.
මෙම හමුවේ ඇති සුවිශේෂී කරුණු දෙස බැලීමේදී තායිවාන රජය විසින් ඉදිරිපත් කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 40ක දැවැන්ත ආරක්ෂක අයවැය විපක්ෂය විසින් අවහිර කර ඇති පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. ලබන මාසයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත සමුළුවට පෙර තායිවානය තුළ චීනයට හිතවත් පාර්ශවයක් ශක්තිමත් බව පෙන්වීමට බෙයිජිං පාලනය මෙම හමුව භාවිතා කරන බව විචාරකයෝ පවසති. චෙන්ග් ලී-වුබ් සියල්ලන්ම චීන ජාතිකයන් බව පැවසුවද නවතම මත විමසුම්වලට අනුව තායිවාන වැසියන්ගෙන් තුනෙන් දෙකක් තමන්ව මූලික වශයෙන් ‘තායිවාන ජාතිකයන්’ ලෙස හඳුනා ගැනීමට කැමැත්තක් දක්වති. චීනය විසින් තායිවානය වටා සිය හමුදා ක්‍රියාකාරකම් දැඩි කර ඇති අවස්ථාවක මෙම සාම චාරිකාව කලාපීය දේශපාලනය තුළ නව හැරවුමක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














