ඇමසන් (Amazon) සමාගම විසින් මෙතෙක් තම AWS වලාකුළු සේවා (Cloud Services) සඳහා පමණක් භාවිතා කළ තමන්ගේම නිෂ්පාදනයක් වන කෘතිම බුද්ධි (AI) චිප්ස්, බාහිර සමාගම් වෙත විකිණීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසී (Andy Jassy) මහතා ප්‍රකාශ කර තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇමසන් සමාගමේ අභ්‍යන්තර චිප් නිෂ්පාදන ඒකකයේ වාර්ෂික ආදායම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 20 ඉක්මවා ඇත.
ඇන්ඩි ජැසී මහතා පෙන්වා දෙන්නේ මෙම චිප්ස් බාහිර පාර්ශවයන් වෙත විවෘත කිරීම හරහා එම වාර්ෂික ආදායම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ නංවා ගත හැකි බවයි. දැනට වෙළෙඳපොළ තුළ පවතින අධික චිප් ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ‘Rack-level’ චිප්ස් සෘජුවම විකිණීමට ඔවුන් සැලසුම් කරමින් සිටී. 2018 වසරේදී හඳුන්වා දුන් ‘Graviton’ CPU චිප්ස් ලැබූ ඉහළ සාර්ථකත්වය මෙන්ම, වත්මන් ‘Trainium’ චිප්ස් සඳහා පවතින දැඩි ඉල්ලුම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.
විශේෂයෙන්ම, 2026 වසරේ මුල් භාගයේදී නිකුත් කරන ලද Trainium3 චිප් එක පෙර මාදිලියට වඩා 30% – 40% ක කාර්යසාධන වර්ධනයක් පෙන්වන අතර, එහි ඇණවුම් (Subscription) මේ වන විටත් උපරිම මට්ටමට පැමිණ ඇත. එමෙන්ම තවමත් නිපදවමින් පවතින Trainium4 චිප්ස් සඳහා ද බොහෝ සමාගම් දැනටමත් සිය වෙන්කිරීම් (Reservations) සිදු කර ඇති බව ජැසී මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. මෙමගින් AI චිප්ස් වෙළෙඳපොළ තුළ ඇමසන් සමාගම Nvidia වැනි සමාගම් සමඟ ප්‍රබල තරඟයකට පිවිසෙන බව පැහැදිලි වේ.














