කොළඹ පිටකොටුව ප්‍රධාන වීදියේ පිහිටි ගබඩාවක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය ආලේපන තොගයක් සිය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (09) දින මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී විදේශ රටවලින් ආනයනය කරන ලද ඇඟ ගල්වන ක්‍රීම් සහ ලෝෂන් වර්ග රැසක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙම ආලේපන තොගයේ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ තොරතුරු වැනි පාරිභෝගික පනත යටතේ අනිවාර්ය කර ඇති කිසිදු මූලික තොරතුරක් සඳහන් කර නොතිබීම විශේෂත්වයකි. මෙම භාණ්ඩ තොගය සිල්ලර වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට පෙර ගබඩාව තුළදීම අත්අඩංගුවට ගැනීමට හැකි වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මේ වන විට වෙළෙඳ නාම 13කට අයත් ආලේපන සාම්පල ලබාගෙන ඇති අතර, ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යොමු කර තිබේ. අදාළ වංචනික ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.














