ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සතු රහස් අභ්‍යන්තර තොරතුරු භාවිත කරමින් මූල්‍ය වෙළෙඳපොළවල් හෝ ඔට්ටු ඇල්ලීමේ වේදිකාවල (Prediction Markets) ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස වයිට් හවුස් පාලන අංශය සිය සේවකයින්ට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තාවකට අනුව, මෙම අනතුරු ඇඟවීමේ විද්‍යුත් ලිපිය පසුගිය මාර්තු 24 වැනිදා සේවකයින් වෙත යවා ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය නැවැත්වීම සඳහා ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවට කළ නිවේදනයට දිනකට පසුවය.
පසුගිය කාලසීමාව තුළ ඇමෙරිකාව විසින් ඉරානයට සහ වෙනිසියුලාවට එරෙහිව ගනු ලැබූ හමුදාමය තීරණ ප්‍රකාශයට පත් කිරීමට පෙර, ඇතැම් පාර්ශවයන් විසින් ඉතා නිවැරදි ලෙස සහ විශාල ලාභයක් ලබන අයුරින් ඔට්ටු තබා ඇති බව අනාවරණය වී ඇත. මෙය රජයේ රහස් තොරතුරු අවභාවිත කර සිදු කළ “Insider Trading” ගනුදෙනු ද යන්න පිළිබඳව මේ වන විට බරපතල සැකයක් මතු වී තිබේ. විශේෂයෙන්ම තෙහෙරාන් නුවර බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන බවට ජනාධිපතිවරයා කළ නිවේදනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටුණු අතර, එම නිවේදනය නිකුත් වී මිනිත්තු දෙකක් ඇතුළත ඩොලර් මිලියන 760කට අධික වටිනාකමකින් යුතු තෙල් කොන්ත්‍රාත්තු හුවමාරු වී ඇති බව වාර්තා වේ.
මෙවැනි රහස් තොරතුරු ඔට්ටු ඇල්ලීමේ වේදිකාවන්හි (Betting Platforms) භාවිතා කිරීම සදාචාරාත්මක මෙන්ම නීතිමය වශයෙන් ද බරපතල වරදක් බව වයිට් හවුස් කළමනාකාරීත්වය අවධාරණය කර ඇත. ඉරාන යුද්ධය වැනි සංවේදී මාතෘකා මුල් කරගනිමින් මූල්‍ය වාසි ලබා ගැනීමට රජයේ නිලධාරීන් කටයුතු කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින උණුසුම් තත්ත්වය සහ ඇමෙරිකානු ඩ්‍රෝන යානා අතුරුදහන් වීම වැනි සිදුවීම් හමුවේ වෙළෙඳපොළ දැඩි අස්ථාවරත්වයක පවතින බැවින්, සේවකයින්ගේ හැසිරීම් පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් පසුවේ.














