වනාතවිල්ලුව, තේවනුවර විදුලි අලි වැටේ රාජකාරියේ නිරතව සිටි වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත බහුකාර්ය සේවකයෙකු වන අලි ප්‍රහාරයකින් අද (10) මියගොස් ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි දෙදරු පියෙකු වූ අමිල සුදේෂ් උදාර නැමති අයෙකි. ඔහු තවත් සේවකයින් පිරිසක් සමඟ රාත්‍රී රාජකාරි නිමවා නිවස බලා ඒමට සූදානම්ව සිටියදී, වෙනත් අවශ්‍යතාවක් සඳහා කැලෑව දෙසට මීටර් කිහිපයක් ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇත. වනජීවී ක්ෂේත්‍රයේ සේවකයින් මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වය මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු වන අතර, මෘත දේහය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු වනාතවිල්ලුව පොලිසිය මගින් සිදු කරනු ලබයි.














