සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 10 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත ලෙස නිල වශයෙන් බලාත්මක වේ.
මෙම නව සංශෝධන මගින් 2022 අංක 25 දරන මුල් පනතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන වෙනස් කර ඇති අතර එහි ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:
පිරිවැටුම් සීමාව සංශෝධනය කිරීම
බදු පදනම පුළුල් කිරීමේ අරමුණින්, බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇත. මේ හරහා වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් බදු දැලට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලියාපදිංචි කිරීම් සහ අවලංගු කිරීම්
නව පිරිවැටුම් සීමාවට අනුකූල වන පරිදි ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම සම්බන්ධ නව විධිවිධාන ද මෙම පනත මගින් හඳුන්වා දී තිබේ.
මෝටර් වාහන සම්බන්ධ සංශෝධන
මෝටර් වාහනවලට අදාළව මීට පෙර පැවති ඇතැම් බදු නිදහස් කිරීම් ද මෙම නව පනත මගින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය අප්‍රේල් 07 වනදා පාර්ලිමේන්තුවේදී පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.














