ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය යටතේ ක්‍රියාත්මක වූ සංක්‍රමණ මර්දන වැඩපිළිවෙළ යටතේ ඇමෙරිකාවෙන් පිටුවහල් කර අප්‍රිකානු රාජ්‍යයක් වන එස්වාටිනි වෙත එවන ලද ප්‍රථම සංක්‍රමණිකයින් පස් දෙනාට නීතිඥ සහාය ලබා ගැනීමට අයිතියක් ඇති බව එරට අධිකරණය තීන්දු කර තිබේ. පසුගිය ජූලි මාසයේදී මොවුන් ඇමෙරිකාවේ සිට එස්වාටිනි බන්ධනාගාරයක් වෙත මාරු කිරීමෙන් පසු ඔවුන්ට නීතිඥ සහාය ලබා දීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
මිනිස් හිමිකම් නීතිඥ සිබුසිසෝ න්ලාබට්සි (Sibusiso Nhlabatsi) හමුවීමට මෙම රැඳවියන්ට ඇති අයිතියට රජය දැක්වූ විරෝධය විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඬුල්ලක් විසින් නිෂ්ප්‍රභ කරන ලදී. රැඳවියන් මෙම නීතිඥවරයාගේ සහාය නිශ්චිතවම ඉල්ලා නැති බවට රජය තර්ක කළද, විනිසුරුවරුන් පෙන්වා දුන්නේ ඔවුන්ට නීතිඥවරයා මුණගැසීමට ඉඩ දීමෙන් කිසිදු හානියක් සිදු නොවන බවත්, ඔවුන්ට නීතිඥ සහාය අවශ්‍ය නොවන්නේ නම් එය ඔහු ඉදිරියේදීම ප්‍රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාව දිය යුතු බවත්ය.
ඩොලර් මිලියන 5.1ක වටිනාකමකින් යුත් ඇමෙරිකානු – එස්වාටිනි පිටුවහල් කිරීමේ ගිවිසුම යටතේ අප්‍රිකාව, ආසියාව සහ ඇමෙරිකානු මහද්වීපවලට අයත් අවම වශයෙන් සංක්‍රමණිකයින් 19 දෙනෙකු මේ වන විට එස්වාටිනි වෙත පිටුවහල් කර තිබේ. මෙම අධිකරණ තීන්දුව දැනට අදාළ වන්නේ මුලින්ම පැමිණි පස් දෙනාට පමණක් වුවද, එය අනෙක් රැඳවියන්ට ද වැදගත් පූර්වාදර්ශයක් වනු ඇත. මේ දක්වා එස්වාටිනි බලධාරීන් විසින් නිදහස් කර ඇත්තේ ජැමෙයිකානු ජාතිකයෙකු සහ කාම්බෝජ ජාතිකයෙකු පමණි.














