ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ලියෝ XIV වන පාප් වහන්සේ ඉදිරිපත් කළ විවේචනාත්මක අදහස් හේතුවෙන්, ඇමෙරිකානු බලධාරීන් වතිකාන නියෝජිතයා කැඳවා දැඩි ලෙස දෝෂාරෝපණය කර තර්ජනය කළ බවට පළ වන වාර්තා පෙන්ටගනය සහ වතිකානය යන දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කර ඇත. ට්‍රම්ප් පරිපාලනයේ හමුදා ක්‍රියාමාර්ග විවේචනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වතිකාන තානාපතිවරයාට පෙන්ටගනය විසින් “තිත්ත දේශනයක්” පැවැත්වූ බවට පසුගියදා විදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
‘The Free Press’ වාර්තා කර තිබුණේ, ඇමෙරිකානු ප්‍රතිපත්ති පිළිබඳ ආරක්ෂක උප ලේකම් එල්බ්‍රිජ් කොල්බි (Elbridge Colby) විසින් වතිකාන නියෝජිත කාදිනල් ක්‍රිස්ටෝෆ් පියරේ කැඳවා, වොෂින්ටනයට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට හමුදා ශක්තිය ඇති බවත් පල්ලිය රජයේ පාර්ශවය ගත යුතු බවත් පවසා ඇති බවයි. එහිදී 14 වැනි සියවසේ ප්‍රංශ රජු විසින් පාප් වහන්සේගේ බලය යටපත් කළ ‘ඇවිග්නොන් පාප් පදවිය’ (Avignon Papacy) පිළිබඳ ඉතිහාසය පවා උපුටා දක්වමින් වතිකානයට අනතුරු ඇඟවූ බව එම වාර්තාවල සඳහන් විය.
කෙසේ වෙතත් පෙන්ටගනය ප්‍රකාශ කළේ එවැනි කැඳවීමක් හෝ දෝෂාරෝපණයක් සිදු නොවූ බවයි. වතිකාන නියෝජිතයින් ද මෙම වාර්තා අසත්‍ය බව තහවුරු කර ඇති අතර, දෙපාර්ශවය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සාමාන්‍ය පරිදි පවතින බව අවධාරණය කළේය. ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පාප් වහන්සේගේ මැදිහත්වීම සහ සාමය පිළිබඳ කළ ප්‍රකාශයන් ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි අවධානයට ලක්ව ඇති පසුබිමක මෙම තත්ත්වය මතු වී තිබේ.














