ආපදාවට පත්වූ පවුල්වල කාන්තාවන් සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ආරම්භ කර ඇති “Healing Sri Lanka” වැඩසටහනට ඕස්ට්‍රේලියානු රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වොර්ත් මහතා ප්‍රකාශ කළේය. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ මහකොමසාරිස්වරයා අතර අද (අප්‍රේල් 10) අමාත්‍යාංශයේදී පැවැති විශේෂ හමුවකදී ඕස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාව වර්ධනය සඳහා ක්‍රියාත්මක උපාය මාර්ගික සැලසුම් පිළිබඳව මහකොමසාරිස්වරයා පැහැදිලි කළ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු තුළදී ද එම සංවේදිතාව පවත්වා ගැනීමේ වැදගත්කම කෙරෙහි දෙපාර්ශවයේම අවධානය යොමු විය.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා රජය සකස් කර ඇති පස් අවුරුදු බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව අමාත්‍යවරිය මෙහිදී මහකොමසාරිස්වරයා දැනුවත් කළ අතර හිංසනයට පත් කාන්තාවන් වෙනුවෙන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් රැකවරණ මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට සහ සමානාත්මතාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දීමට මහකොමසාරිස්වරයා මෙහිදී සහතික විය.














