ඉරාන යුද්ධය හේතුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර බොක්ක වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුවකට හානි සිදුවීම නිසා එය වසා දැමීමට ප්‍රංශ බලශක්ති දැවැන්තයෙකු වන ‘ටෝටල් එනර්ජීස්’ (TotalEnergies) සමාගම අද (අප්‍රේල් 10) පියවර ගෙන තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් සමාගමේ සමස්ත නිෂ්පාදනයෙන් 15%ක් පමණ මේ වන විට අත්හිටුවීමට සිදුව ඇත.
සෞදි රජයට අයත් ‘ඇරම්කෝ’ (Aramco) සමාගම සහ ‘ටෝටල් එනර්ජීස්’ එක්ව පවත්වාගෙන යන ‘සටෝර්ප්’ (SATORP) පිරිපහදුව ඇතුළු තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගත් බව සෞදි බලශක්ති අමාත්‍යාංශය තහවුරු කරයි. මීට අමතරව කටාර්, ඉරාකය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේ පිහිටි නිෂ්පාදන මධ්‍යස්ථාන ද මේ වන විට අකර්මන්‍ය වී පවතී.
එල්ල වූ ප්‍රහාරවල ස්වභාවය හෝ නිෂ්පාදන කටයුතුවලට සිදුව ඇති බලපෑම පිළිබඳව මෙතෙක් නිශ්චිත දත්ත අනාවරණය කර නොමැති වුවද, මෙය ලෝක වෙළඳපොළේ ඉන්ධන සැපයුමට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව බලශක්ති ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙති.














