මධ්‍යම ගාසා තීරයේ බුරෙයිජ් (Bureij) සරණාගත කඳවුරේ පිහිටි පොලිස් මුරපොළකට අද (11) අලුයම එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වෛද්‍ය වාර්තා සඳහන් කරයි. මියගිය පිරිස අතර සිටි සියලු දෙනාම පොලිස් නිලධාරීන් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හමාස් පාලනය යටතේ පවතින පොලිස් බලකායේ සාමාජිකයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍ය සහ පොලිස් ආරංචි මාර්ග පවසයි. ප්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහා අමෙරිකානු මැදිහත්වීම මත පසුගිය ඔක්තෝබර් මාසයේදී ගිවිසුමකට එළඹුණද, දෙපාර්ශවයම එකිනෙකාට එම එකඟතා කඩ කරන බවට චෝදනා කරති.
එම ගිවිසුමෙන් පසුව ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 700කට අධික පිරිසක් මියගොස් ඇති අතර, එම කාලසීමාව තුළදීම සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල සෙබළුන් සිව්දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ කලාපීය සාමය තවදුරටත් අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














