‘වයියානු’ (Vaianu) සුළි කුණාටුව නවසීලන්තයේ උතුරු දූපත දෙසට ගමන් කරමින් පවතින බැවින්, ඇතිවිය හැකි ගංවතුර සහ නායයෑම් අවදානම සලකා දහස් සංඛ්‍යාත ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස අද (11) නියෝග කර තිබේ. හෙට (ඉරිදා) දිනයේදී රටට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන මෙම කුණාටුවත් සමඟ පැයට කිලෝමීටර් 130ක පමණ වේගයෙන් හමන තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.
වැඩිම බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂිත වකතානේ (Whakatane) ඇතුළු ප්‍රදේශ කිහිපයක දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, අවම වශයෙන් දින දෙකක්වත් නිවෙස්වලින් බැහැරව සිටීමට සූදානම් වන ලෙස ප්‍රාදේශීය සභා මගින් ජනතාවට දන්වා ඇත. මුහුදු වෙරළාසන්න ප්‍රදේශවල මීටර් 13ක් පමණ උසැති රළ පහරවල් සහ මුහුදු ජලය ගොඩබිමට ගලා ඒමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවිය හැකි බැවින්, විදුලිය බිඳවැටීම් වැනි තත්ත්වයන්ට සූදානම්ව සිටින ලෙසයි. මෙම තත්ත්වය 2023 වසරේදී නවසීලන්තයට දැඩි විනාශයක් කළ ‘ගේබ්‍රියෙල්’ සුළි කුණාටුවේ බියකරු මතකයන් යළි අවදි කර ඇති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
















