සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර ගනිමින් බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් කොළඹ ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වටලා තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ලැබුණු විශ්වාසවන්ත තොරතුරකට අනුව කොළඹ පිහිටි අලෙවිසැල් කිහිපයක් පරීක්ෂාවට ලක් කළ බවයි.
මෙම විශේෂ මෙහෙයුම සඳහා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් 30 දෙනෙකු පමණ කණ්ඩායම් හතරක් ලෙස සහභාගී වී ඇත. වැටලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම මත්පැන් බෝතල්වල අලවා තිබූ ආරක්ෂිත ස්ටිකර් (Stickers) සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවයි. රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හරිමින් හොර රහසේ මෙම මත්පැන් තොගය වෙළඳාම් කිරීමට සූදානම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
අදාළ මත්පැන් තොගය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ආකාරය සහ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. උත්සව සමයේ සිදුවන මෙවැනි නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා වැටලීම් දැඩි කර ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.














