මාකඳුරේ මධුෂ් ලෙස හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) විමර්ශනවලට අදාළව, කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත. මෙම නියෝගය ලබන මස නඩුව නැවත කැඳවන දිනය දක්වා බලපැවැත්වෙන අතර, එදින දක්වා පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි. සිද්ධියට අදාළ වැඩිදුර විභාගය එදිනට පැවැත්වීමට නියමිතය.
















