නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ රට තුළ පොහොර හිඟයක් පිළිබඳව ගොවි ජනතාව බිය විය යුතු නැති බවයි. මොරගොල්ලගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ඔහු පෙන්වා දුන්නේ පසුගිය යල කන්නයේ භාවිත කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයකට ආසන්න MOP පොහොර තොගයක් මේ වන විට රට තුළ පවතින බවයි. එසේම යූරියා පොහොර සම්බන්ධයෙන් පැවති සුළු හිඟය මගහරවා ගැනීමට ටොන් 25,000ක නැවක් දිවයිනට පැමිණ ඇති අතර ඒවා මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් බෙදාහරිමින් පවතී.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ පොහොර මිල ඉහළ ගියද රජය මැදිහත් වී සහන මිලකට පොහොර ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 17,000ක් පමණ වන පොහොර මිටියක් රුපියල් 10,200කට ගොවීන්ට ලබාගත හැකිය. මීට අමතරව රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 සිට රුපියල් 60,000 දක්වා දෙගුණයකින් ඉහළ නංවා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














