OpenAI සමාගම සිය macOS යෙදුම් සහතික කිරීම සඳහා භාවිතා කරන Axios නැමැති තෙවන පාර්ශවීය මෘදුකාංග පුස්තකාලයක ආරක්ෂක දෝෂයක් හඳුනාගෙන ඇති බව නිවේදනය කර තිබේ. උතුරු කොරියාවට සම්බන්ධ යැයි සැක කෙරෙන කණ්ඩායමක් විසින් Axios මෙවලම ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද පුළුල් මෘදුකාංග සැපයුම් දාම ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය හටගෙන ඇත. මෙහිදී ChatGPT Desktop ඇතුළු macOS යෙදුම්වල නිවැරදිභාවය සහතික කිරීමට භාවිතා කරන GitHub Actions පද්ධතියට හානිකර මෘදුකාංගයක් ඇතුළු වී තිබුණ ද, සමාගම සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ පරිශීලක දත්ත, පද්ධති හෝ බුද්ධිමය දේපළවලට ඉන් කිසිදු බලපෑමක් සිදුවී නොමැති බවයි.
මෙම ගැටලුවට විසඳුම් ලෙස OpenAI සමාගම සිය ආරක්ෂක සහතික දැනටමත් යාවත්කාලීන කර ඇති අතර, ව්‍යාජ යෙදුම් බෙදා හැරීමේ අවදානම වළක්වා ගැනීම සඳහා සියලුම macOS පරිශීලකයන්ට සිය යෙදුම් වහාම නවතම සංස්කරණයට යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබේ. එළැඹෙන මැයි 08 වනදා සිට පැරණි සංස්කරණ සඳහා සහාය දැක්වීම නතර කිරීමට නියමිත බැවින් එම සංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක නොවිය හැකිය. පරිශීලක මුරපද හෝ API යතුරු සඳහා මෙමඟින් කිසිදු බලපෑමක් සිදුවී නොමැති අතර, GitHub Actions පද්ධතියේ පැවති වැරදි වින්‍යාසගත කිරීමක් හේතුවෙන් හටගත් මෙම දෝෂය මේ වන විට සම්පූර්ණයෙන්ම නිවැරදි කර ඇති බව OpenAI සමාගම වැඩිදුරටත් සහතික කර සිටී.














