අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික භාණ්ඩ බහුතරයක් සඳහා පනවා ඇති සියයට 10ක බදු මුදලෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව එරට ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරු මඩුල්ලක් ප්‍රශ්න කර තිබේ. විශාල වෙළඳ හිඟයක් පැවතීම පමණක් මෙලෙස පුළුල් පදනමක් සහිතව තීරුබදු පැනවීමට ප්‍රමාණවත් හේතුවක් නොවන බව විනිසුරුවරුන් එහිදී පෙන්වා දී ඇත. පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම තීරුබදුවලට එරෙහිව ප්‍රධාන වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂය බලය දරන ප්‍රාන්ත 24ක් සහ කුඩා ව්‍යාපාරිකයන් විසින් ගොනු කරන ලද නඩු සිකුරාදා දින විභාගයට ගැනිණි.
අදාළ ප්‍රාන්ත අධිකරණය හමුවේ තර්ක කර සිටින්නේ, ට්‍රම්ප්ගේ මෙම පියවර ඊට දින හතරකට පෙර අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක් මඟහැර යාමට ගත් උත්සාහයක් බවයි. 1974 වෙළඳ පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ඉක්මවා යමින් යල් පැන ගිය නීතිමය පදනමක් මත මෙම බදු පනවා ඇති බවත්, මින් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පරාජය වුවද ජනාධිපතිවරයා තවමත් තමාට පුළුල් තීරුබදු බලතල පවතින බව පවසන බවත් මෙහිදී අවධාරණය විය.














