ජිබුටි රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපති ඉස්මයිල් ඕමාර් ගුවේලේ (Ismail Omar Guelleh) 97.81%ක අතිවිශාල ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් හයවන වරටත් සිය ධුරය තහවුරු කරගෙන තිබේ. 1999 වසරේ සිට බලයේ පසුවන 78 හැවිරිදි ගුවේලේ මහතා මෙලෙස සිය බලය තවත් වසර පහකට තහවුරු කරගත් බව එරට නිල පුවත් සේවය වාර්තා කළේය.
මෙම මැතිවරණයේදී ඔහුට එරෙහිව තරග වැදුණු එකම අපේක්ෂකයා වූ මොහොමඩ් ෆාරා සමාතාර්ට (Mohamed Farah Samatar) ලබාගත හැකි වූයේ 2.19%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජිබුටි රාජ්‍යයේ ලියාපදිංචි ඡන්දදායකයන් 256,000ක් අතුරින් 80.4%ක් එදින ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. පසුගිය වසරේදී එරට ව්‍යවස්ථාවේ පනවා තිබූ වයස් සීමාවන් ඉවත් කිරීම හේතුවෙන් ගුවේලේ මහතාට මෙවරත් තරග කිරීමට අවස්ථාව හිමි විය. බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ උපායමාර්ගිකව පිහිටා ඇති ජිබුටි රාජ්‍යය, රතු මුහුදට පිවිසෙන ප්‍රධාන දොරටුවක් ලෙස ජාත්‍යන්තර දේශපාලනයේ වැදගත් ස්ථානයක් ගනී.














