කැනරි දූපත් සමූහයට අයත් ලා ගෝමේරා (La Gomera) දූපතේදී සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම පිරිස ලා ගෝමේරා සිට ටෙනරීෆ් (Tenerife) බලා යාත්‍රා කිරීම සඳහා වරාය වෙත ගමන් කරමින් සිටියදී සැන් සෙබස්තියන් ද ලා ගෝමේරා ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින් 27 දෙනෙකු සහ රියදුරු සිටි බව ස්පාඤ්ඤ හදිසි සේවා අංශ තහවුරු කර තිබේ. තුවාල ලැබූ සියලුම පිරිස වහාම රෝහල් ගත කළ අතර, ඉන් 21 දෙනෙකු ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත. කෙසේ වෙතත්, බරපතල තුවාල ලැබූ තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ටෙනරීෆ් හි පිහිටි රෝහල් වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් කිහිපයක් ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇති අතර, අනතුරට හේතුව පිළිබඳව ස්පාඤ්ඤ බලධාරීන් පරීක්ෂණ පවත්වයි.














