ඉන්දියානු සාගර කලාපීය සමුළුව (Indian Ocean Conference) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කිසිදු නිලධාරියෙකු සහභාගී නොවීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය දැඩි විරෝධය පළ කර තිබේ. දකුණු ආසියාතික නායකයන් සහභාගී වූ මෙවැනි වැදගත් කලාපීය හමුවකදී ශ්‍රී ලංකාවේ නියෝජනයක් දක්නට නොලැබීම පිළිබඳව ඔහු සිය ‘X’ ගිණුම හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කර ඇත.
සමුළුවේ ඡායාරූප උපුටා දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විදේශ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙයට සහභාගී නොවීම බරපතල ගැටලුවක් බවයි. වියදම් පියවා ගැනීම හෝ වෙනත් දේශපාලන ප්‍රමුඛතා මෙවැනි වැදගත් අවස්ථාවන් මගහැරීමට හේතුවක් නොවිය යුතු බවත්, මෙලෙස කලාපීය වේදිකාවලින් ශ්‍රී ලංකාව ඉවත් වීම හරහා රටේ උපායමාර්ගික වැදගත්කම ලෝකය හමුවේ ගිලිහී යා හැකි බවත් ඔහු අනතුරු අඟවයි. ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවට හිමි සුවිශේෂී පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් මෙවැනි කලාපීය හමුවලදී සක්‍රීයව දායක වීම අත්‍යවශ්‍ය බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














