මාතර සමූපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබා ගැනීමට ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිසක් උත්සාහ කිරීමත් සමඟ අද (11) පස්වරුවේ රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. මෙම ක්‍රියාවට විරෝධය පළ කරමින් රෝහල් සේවක සේවිකාවන් වැඩ වර්ජනයක නිරත වෙමින් උද්ඝෝෂණයක් ද පවත්වන ලදී.
රෝහල් ආරෝග්‍ය ශාලා සමිතියේ සාමාජිකයන් යැයි කියා ගන්නා පිරිසක් බලහත්කාරයෙන් රෝහල තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ඇති වූ බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙම ගැටුමෙන් තුවාල ලැබූ රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පාලන බලය අත්පත් කර ගැනීමේ අරමුණින් පැමිණි පිරිස වසා දමා තිබූ සභාපතිවරයාගේ නිල කාමරයේ ඉබි යතුරු කඩා ඇතුළු වීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇති බව වාර්තා වේ. එහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් එම උත්සාහය වැළැක්වීමට කටයුතු කළ අතර, එහිදී ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරීන්ට ද පහරදීම් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වේ.
ජාතික ජන බලවේගයේ කණ්ඩායම පසුගිය දෙවැනිදා සිටම මෙලෙස ඡන්දයකින් තොරව පාලන බලය ලබා ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කර තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මාතර සමූපකාර රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතුවලට සහ රෝගී සත්කාරක සේවාවලට දැඩි බාධා එල්ල වී තිබේ.













