පැය 14ක අඛණ්ඩ සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකාව සහ ඉරානය අතර පාකිස්ථානයේ පැවැති සාම සාකච්ඡා තාවකාලිකව අවසන් වූ බව ඉරාන රජය අද (12) උදෑසන නිවේදනය කළේය. සති හයක් පුරා පැවැති දරුණු යුද්ධය නිමා කිරීම සඳහා වසර දහයකට පසු දෙරටේ ඉහළම පෙළේ බලධාරීන් මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව මෙයයි. සාකච්ඡා අවසන් වුවද දෙපාර්ශ්වය අතර තවදුරටත් බරපතල එකඟ නොවීම් පවතින බවත් ඉදිරියේදී තාක්ෂණික මට්ටමේ නිලධාරීන් ලේඛන හුවමාරු කර ගනු ඇති බවත් වාර්තා වේ.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමෙන් 20%ක් ඇනහිට ඇති අතර මේ නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අතිශයින් ඉහළ ගොස් තිබේ. සාකච්ඡා අතරතුර දෙරටේ නියෝජිතයන්ගේ ස්වභාවය වරින් වර වෙනස් වූ බවත් උණුසුම් වාතාවරණයක් පැවති බවත් මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්ථාන ආරංචි මාර්ග පවසයි. ඉරානය විසින් යුද වන්දි ගෙවන ලෙසත් තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙසත් ලෙබනනය ඇතුළු කලාපය පුරාම සටන් විරාමයක් ඇති කරන ලෙසත් කොන්දේසි ඉදිරිපත් කර ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මෙම සාකච්ඡා පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද ඇමරිකාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනය සඳහා නිදහස් කර ගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ අඩාල කිරීමයි. මේ අතරතුර ඇමරිකානු නාවික හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා සූදානම් වන බව පැවසුවද ඉරානය එය ප්‍රතික්ෂේප කරයි. සාකච්ඡා නැවත ආරම්භ කරන දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර දෙපාර්ශ්වය අතර පවතින්නේ ඉතා අවම විශ්වාසයකි.














