ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවතින උග්‍ර මානව සම්පත් ඌනතාවය, විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පති හිඟය පියවීම සඳහා කඩිනම් විසඳුම් සෙවීමේ අරමුණින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කරන ලද මෙම කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. මෙම සාකච්ඡාව පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී පවත්වනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙනි.
පසුගිය අප්‍රේල් 09 වැනිදා පැවැති මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න, මහින්ද ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් ජෙගදීස්වරන්, සුගත් වසන්ත ද සිල්වා, පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙහි ප්‍රධාන අරමුණ වූයේ අධ්‍යාපන පද්ධතියේ පවතින ගුරු සහ විදුහල්පති පුරප්පාඩු හේතුවෙන් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට එල්ල වී ඇති බාධා හඳුනාගෙන, ඒවා විද්‍යාත්මකව විසඳීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් සකස් කිරීමයි.
පාසල් මට්ටමින් පවතින ගුරු අතිරික්තයන් සහ හිඟයන් කළමනාකරණය කිරීම මෙන්ම විදුහල්පති සේවයේ පවතින බඳවා ගැනීමේ ගැටලු නිරාකරණය කිරීම සඳහා නව යෝජනා රැසක් මෙම කමිටුව හරහා ඉදිරිපත් කිරීමට නියමිතය. අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම මෙම ගැටලුවලට ස්ථාවර විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව වී තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මානව සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.














