රුපියල් ලක්ෂ 7කට වඩා වැඩි වටිනාකමකින් යුත් විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ගුවන් යානයකින් අද අලුයම කටුනායක වෙත පැමිණි මෙම සැකකරු, රේගු පරීක්ෂාවකින් තොරව පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ සැකයට බඳුන් වී ඇත. ඔහු සන්තකයේ තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ විවිධ වර්ගයේ විසිතුරු පැළ 229ක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ.
අදාළ පැළ තොගය නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර, අදාළ ශාක තොගය රජයේ තක්සේරු කටයුතු සහ ශාක නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙලෙස නීතිවිරෝධී ආනයනික භාණ්ඩ මෙරටට ගෙන ඒමේ ප්‍රවණතාවක් පවතින බැවින් ගුවන් තොටුපොළ රේගුව සිය පරීක්ෂණ කටයුතු දැඩි කර තිබේ.














